වාරිමාර්ග ප්‍රවෘත්ති
කොට්ටුකච්චිය, පුත්තලම

දිට්වා ආපදාවෙන් හානියට පත් කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ආරම්භ වේ

දිට්වා ආපදාව හේතුවෙන් හානියට පත් කොට්ටුකච්චිය ගොවි ව්‍යාපාරයට අයත් කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) ආරම්භ කෙරිණි.

ව්‍යාපෘති වියදම
මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 200ක් වන අතර, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කළේ, වර්තමානයේ කෘෂිකර්මාන්තය ක්ෂේත්‍රය අභියෝග රැසකට මුහුණ දී ඇති බවයි. ගොවි ජනතාවගේ නිෂ්පාදන සඳහා සාධාරණ හා යුක්තිසහගත මිලක් ලබාදීම ප්‍රධාන අභියෝගයක් බවත්, වෙළෙඳපොළ තුළ නිසි මිලක් සහ ආර්ථික ප්‍රතිලාභයක් නොලැබෙන්නේ නම් ගොවීන්ට වගා කිරීමෙන් පලක් නොවන බවත් අමාත්‍යවරයා පැවසීය. රටේ ගොවි ජනතාව මුහුණ දෙන දුප්පත්කම තුරන් කිරීම සිය අමාත්‍යාංශයට පැවරී ඇති ප්‍රධාන වගකීමක් බවද හෙතෙම අවධාරණය කළේය.

වාරිමාර්ග කටයුතු සඳහා රජය විශාල මුදලක් වෙන්කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු හේතුවෙන් රාජ්‍ය කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාමද අභියෝගයක් වී ඇති බව සඳහන් කළේය.

ගොවීන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, රජයේ ගබඩාවලට පමණක් වී මිලදී ගැනීම ප්‍රමාණවත් නොවන බැවින් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සම්බන්ධ කර ගනිමින් රාජ්‍ය භාණ්ඩාගාරය හරහා එක් අයෙකුට රුපියල් කෝටි දෙකහමාර බැගින් පොළී රහිත ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බවයි. එමෙන්ම මහා පරිමාණ වී මෝල් හිමියන්ද රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති මිලට වී මිලදී ගන්නා බව සඳහන් කළ අමාත්‍යවරයා, ගොවීන් මුහුණ දෙන තෙත වී ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමට රජය මැදිහත් වන බවද පැවසීය.

ගොවීන් එක් වගාවකට හෝ කුඹුරු වගාවට පමණක් සීමා නොවී පශු සම්පත් ක්ෂේත්‍රය කෙරෙහිද අවධානය යොමු කරමින් සිය ආදායම් මාර්ග විවිධාංගීකරණය කරගත යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය. අක්කරයකින් වී බුසල් 80ක අස්වැන්නක් ලබාගෙන ලාභ ලැබීම අපහසු බවත්, මේ වනවිට මෙරට ඇතැම් ප්‍රදේශවල අක්කරයකින් වී බුසල් 200ක් පමණ ලබාගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම යටතේ අක්කරයකින් ලබාගන්නා අස්වැන්න ඉහළ නැංවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද පැවසූ අමාත්‍යවරයා, ගොවීන් අවිධිමත් ලෙස වගා නොකර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශවලට අනුව වගා කටයුතු සිදු කළ යුතු බවද පෙන්වා දුන්නේය.

සත්ව ආහාර සඳහා බඩඉරිඟු ප්‍රධාන භෝගයක් වන අතර, මෙරට වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 7ක් පමණ වුවද දේශීයව නිෂ්පාදනය කරනු ලබන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් පමණක් බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඉතිරි මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක ප්‍රමාණය ආනයනය කිරීම වෙනුවට සහල් ආශ්‍රිත විකල්ප භාවිත කිරීමට කටයුතු කර ඇති බවත්, සහල්වලින් විවිධ නිෂ්පාදන සිදු කිරීම තුළින් වී ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවත් හෙතෙම පැවසීය.

වී වගාවේදී රසායනික පොහොර මෙන්ම කාබනික පොහොරද නිසි පරිදි යොදාගත යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා, පොහොර සහනාධාරය මෙන්ම වාරිමාර්ග පහසුකම් ලබාදෙමින් ගොවි ජනතාව ශක්තිමත් කිරීමට රජය බැඳී සිටින බවද අවධාරණය කළේය. ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යභාරය බවත්, ඒ සඳහා ගොවි ජනතාවගේ සක්‍රීය දායකත්වයද අත්‍යවශ්‍ය බවත් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා ඇතුළු දේශපාලන අධිකාරියේ නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.