වාරිමාර්ග ප්‍රවෘත්ති
ඇඹිලිපිටිය, රත්නපුර

"වාරි මහිම අපේ උරුමය" — වාරි පුනරුදය ඇඹිලිපිටියට

ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගොවි ජනතාවගේ වාරි ජල අවශ්‍යතා සපුරාලමින් කෘෂිකාර්මික කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් හිඟුරආර වැවේ දකුණු හා වම් ඇළ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අද (02) ආරම්භ කෙරිණි.

ව්‍යාපෘති වියදම
මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 700ක් (රුපියල් මිලියන 70ක්) වෙන් කර ඇති අතර, එමඟින් හිඟුරආර වැවේ දකුණු හා වම් ඇළ මාර්ග සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කෙරේ.

මෙම කටයුත්ත අති පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සහ ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් සහෝදරයාගේ ප්‍රධානත්වයෙන්, ඇඹිලිපිටිය නගරාධිපති, උප නගරාධිපති, නාගරික මන්ත්‍රී සහෝදරිය ශානිකා, නාගරික මන්ත්‍රී සහෝදරයන් වන රසික හා පේමතිලක යන මහත්ම මහත්මීන් හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරින්, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරින් හා ප්‍රදේශයේ ගොවි ජනතාවගේ සහභාගිත්වයෙන් හිඟුරආර වැව් තාවුල්ලේදී ආරම්භ කරන ලදී.

මෙම දකුණු හා වම් ඇළ ප්‍රතිසංස්කරණය මඟින් ප්‍රදේශයේ කෘෂිකාර්මික ඉඩම් වෙත වාරි ජලය කාර්යක්ෂමව බෙදා හැරීම වැඩිදියුණු කිරීමට හා ගොවි ජනතාවගේ ජීවනෝපාය හා කෘෂිකාර්මික ඵලදායිතාව ශක්තිමත් කිරීමට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතිය රටේ වාරි පද්ධති පුනර්ජීවනය කිරීම හා ග්‍රාමීය කෘෂිකාර්මික ආර්ථිකයේ පදනම ශක්තිමත් කිරීම අරමුණු කරගත් "වාරි මහිම අපේ උරුමය" වැඩසටහනේ කොටසක් ලෙස ක්‍රියාත්මක වේ.